1.අංකඩ වසම

අතීතයේ අංකෙලි ක්‍රීඩාව පැවතෙන අතර වාරයේ අංකෙලි ක්‍රීඩාවේ අඟක් හැඩයේ ගසක අත්තකින් කපා ගත් අං දෙකක් එකට බැඳ එක් පැත්තකට අදින විට මෙම එක් අඟකින් කොටසක් කැඩී පැත්තකට විසි වුණ බවත් එතැන් පටන් එම ප්‍රදේශය අංකඩ ලෙස සැලකෙන බවත් ගම්මුන්ගේ අදහසයි.

2.ඇත්පට්ටිය වසම

බදුල්ල කතරගම අඩිපාරක් මෙම ගම මැදින් වැටී තිබී ඇති අතර මෙම මාර්ගයෙන් අලි ඇතුන් ගෙන යාම සිරිතක් ලෙස පැවත ඇත.එසේ ගෙන යන අලි ඇතුන්ගේ විඩාව සන්සිඳුවා ගැනීම සඳහා මෙම ගම් මැද්දේ ගාල් කර තබා ඇත.ඇතුන් ගාල් කළ පට්ටිය නිසා ඇත් පට්ටිය ලෙස මෙම ගම්මානය නම් දරා ඇත.

3.දඹගහවෙල වසම

අතීතයේදී විශාල වෙල් යායක දඹ ගහක් තිබී ඇත.එනිසා දඹ ගහ තිබූ වෙල දඹගහවෙල ලෙස නම් දරා ඇති බව ජනප්‍රවාදයේ පවති.

4.දේවතුර වසම

අතීතයේදි විශාල ගසකට දෙවියන් වැඩ වසන බව ගම්මුන් පවසයි.ඒ අනුව දෙවියන් ආ තුර දේවතුර ලෙස ව්‍යවහාර වූ බව පැවසේ.

5.මියනකඳුර වසම

කඳුකර ආශ්‍රිතව මීන පලා බහුලව තිබූ බවද ඒ අනුව මීන කදුකර පසුව මියනකඳුර ලෙසින් භාවිතා කෙරුන බව ජනප්‍රවාදයේ පවතී

6.රණුගල්ල වසම

රණ්දෙනි ගල වෙල්යායේ සටන් පැවති යුගයේ සතුරු බල ඇණි දෙකක් එකිනෙකා මුණගැසී විශාල ගලක් පාමුල දරුණු සටන් ඇතිවි ඇත.එය මුල් කරගෙන රණුගල ලෙසින් භාවිතා වු මෙම ගම්මානය පසුව රණුගල්ල ලෙසින් හදුන්වා ඇත.

7.හිඟුරුකඩුව වසම

දුටුගැමුණු රජතුමා දමිළයන් සමඟ පැවති යුද්ධයකින් අනතුරුව එතුමා අත තිබූ කඩුව විසිකර ඇති අතර එය මෙම ගම්මානයේ හිඟුරු නමින් හැඳින්වෙන ගසක් මතට වැටී ඇත.එම ගම්මානයේ සිටි රාජ පුරුෂයන් හට මෙම කඩුව හිඟුරු නමැති ගසක් මත තිබියදී හමුවී ඇත.ඒ අනුව කඩුව හිඟුරේ පැවසූ කතාවෙන් පසු කාලීනව හිඟුරුකඩුව යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

8.ඇල්ල වසම

වතුර හා දිය අඟල් බහුලව පැවතීමත් ඒවා කුඩා දිය ඇලි ලෙස පැවතිම හේතු කොටගෙන මෙම ප්‍රදේශයට ඇල්ල යන නම ලැබී ඇත.

9.කොටමුදුන වසම

විශාල ගල් පරයක කොටෙකුගේ රූපයක් කොටා තිබී ඇති අතර එම ප්‍රදේශයට කොටමුදුන ලෙස හඳුන්වා ඇත.

10.ගැඩවිල වසම

අතීතයේ මෙම ගම්මානයේ විලක් තිබී ඇත.පසු කලෙක මෙම වැව පස් වලින් ගොඩ වී ඇති බවත් එම නිසා ගොඩ විල ලෙස හදුන්වා ඇති අතර පසු කාලීනව එය ගැඩවිල ලෙස ව්‍යවහාර වී ඇත.

11.පල්ලේගම වසම

අනෙකුත් ගම්වලට පහලින් පිහිටි තැනක ගම්මානය ගොඩනැගී ඇති අතර පහල පිහිටි ගම පසු කාලීනව පල්ලේගම ලෙස නම් දරා ඇත.

12.මයියොක්කාවත්ත වසම

ඉංග්‍රිසින්ගේ කාලයේ ආහාර හිඟයක් ඇතිවී මඤ්ඤොක්කා අල තම්බා ගෙන අනුභව කර ඇත්තේ මෙම ප්‍රදේශයේ සිටයි.ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට මයියොක්කාවත්ත ලෙස හදුන්වා ඇත.

13.වරාදොළ වසම

දුටුගැමුණු රජ සමයේ වෙළඳාමේ ආ තවලම්කරුවන් වටිනාකමකින් යුත් ගොනුන් පිට බැඳි තවලම් වල තිබුණු බවට අතීතයේ සිට මී මුත්තන්ගේ කියමනක් අනුව එම වරාගජ දොළොස් අමුණක් මඩ ගොහොරුවක එරී ගොනුන් සමග යට වී නොපෙනී දොළක සැඟවී ගිය හෙයින් වරාදොල නමින් මෙම ප්‍රදේශයට නම් පට බැඳි බව කියවේ.

14.කරඳගම වසම

දුටුගැමුණු රජු කතරගම සිට රජවීදීය හරහා දුම්මලතැන්න වෙහෙර බැදි තැන්න හා පොතුබැම්ම යන විහරස්ථානවලට යන අතරදී ඖෂධයක් ලෙස මෙම ප්‍රදේශයෙන් කරද ගසකින් කොළ පොතු ආදීය ගෙන ගොස් ඇත.ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට කරඳගම යන නම ලැබී ඇති බව කියවේ.

15.කරවිල වසම

ගොවියෙක් සී සාමින් සිටින අවස්ථාවක ඔහුගේ නගුල හා හරක් බාන පොලව යටට ගිලා බැස එම ස්ථානයෙන් දිය බුබුලක් මතු වී එතුලින් රත්තරන් කරවිල ගෙඩියක් මතු වී ඇත.එම නිසා මෙම ප්‍රදේශයට කරවිල යන නම ප්‍රචලිත වී ඇත.

16.තලාවගම වසම

අතීතයේදී මානං තලාවක් තිබූ ප්‍රදේශයේ ගම්මානය බිහි වී ඇති අතර එම ප්‍රදේශය පසුව තලාවගම ලෙස ප්‍රසිද්ධ වී ඇත.

17.බඩල්කුඹුර වසම

මෙම ප්‍රදේශයේ පැවති කුඹුරු යායකට බඩඇල් නැමති වී වර්ගය වගා කර තිබුණු හෙයින් බඩල්කුඹුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

18.මඩමගම වසම

දුටුගැමුණු රජ යුධ සමයේ යුධ කටයුතු සදහා ගමන්ගත් මාර්ගයේ නවාතැන් ගත් ස්ථානය මඩම ලෙස හදුන්වා ඇත.පසු කාලීනව එම ස්ථානයේ ගම්මානය බිහිවී මඩමගම ලෙස ව්‍යවහාර වී ඇත.

19.මාලිගාතැන්න වසම

පරාක්‍රම රජ දවස  මාලිගාවක් තැනිතලා ප්‍රදේශයක තිබී ඇති අතර එනිසා එම ප්‍රදේශය මාලිගාතැන්න ලෙස හදුන්වා ඇත.

20.වෑකුඹුර වසම

ගල්ලබ මුදියන්සේලාගේ නමින් පැවත ආ පවුල් තුනකින් මෙම ගම ආරම්භ වීම නිසා මෙම නම ලැබි ඇත.තවද මෙහි තැන තැන ගල් පිහිටා තිබුන බැවින් ගල්ගොඩ නමින් හැදින්වු ගම පසුව ගල්ලබ වු බව පැරන්නන්ගේ මතය වේ.

21.අලුපොත වසම

අතීතයේදි මුස්ලිම් නායකයකු අල්පකට යනවා යැයි පවසමින් මෙම ප්‍රදේශයට පැමිණ මිය ගොස් ඇත. එතුමාගේ ඥාතීන් අල්පකට යන්න සිතා ඇත්තේ ගමක නමක් ලෙසයි.පසුව එම ප්‍රදේශය අලුපොත ලෙස  නම් දරා ඇත.

පරාක්‍රමභාහු රජ දවසේ සතුරන් විසින් පැරණි වටිනා පොතක් ගිණිතබා විනාශ කර ඇත.රජුට එය දන්වා ඇත්තේ අලු වූ පොත ලෙසයි. පසු කාලීනව එය අලුපොත වු බව සදහන් වේ.

22.තේරප්පහුව වසම

දස මහා යෝධයන් අතරින් ථෙරපුත්තාභය නම් යෝධයා මෙම ප්‍රදේශයේ ජීවත්වී ඇත.තේරප්පහුව පුරාණ රජමහා විහාරයේ පවතින ගල් කණු හා ගල් ලෙන ඊට සාක්ෂි දරයි.මෙම යෝධයා හා බැදි පවතින පුරාවෘත්ත ආශ්‍රයෙන් ථෙරපුත්ථාභය සිටියා යැයි කියවෙන පර්වතය සිහිකිරීම පිණිස, ථෙරපුත්ථාභය සිටි පව්ව තේරප්පහුව ලෙස දැනට භාවිතා කෙරේ.මෙම යෝධයා පසු කලෙක මෙම විහරස්ථානයේම පැවිදි වු බව ඓතිහාසික ලේඛන වලින් හෙළි වේ.

23.පුස්සැල්ලාව වසම

ජනප්‍රවාදයට අනුව අලියෙක් පුස්වැලැක් කෑමෙන් පසු එය වෙන් නොවි උදරගත වීම නිසා අලියා මිය යෑමෙ සිද්ධියක් මුල් කොටගෙන පුස්සැල්ලැව ලෙස නම ලැබුනු බව ගමේ ව්හාරාධිපති හිමි ඇතුළු වැඩහිටි පරපුර අතර ඇති  මතයයි.

24.මඩුකොටන්අරාව වසම

මඩුගස් විශාල ප්‍රමාණයකින් සමන්විත වූ බවත් එම ගස් කපා ඒවා උපයෝගී කරගනිමින් අමුණක් සාදා කුඹුරු අස්වද්දා තිබූ බැවින් මඩුකොටන්අරාව යනුවෙන් හඳුන්වා ඇත.

25.මඩුගස්මුල්ල වසම

සූරියගස්ඇල්ල, ගැටලෑල්ල හා අම්බලන්තැන්න කඳු එකිනෙක යා කරන කොනක (මුල්ලක) මඩුගසක් තිබී ඇත. එම ස්ථානයේ ගම්මානය බිහිවී මඩුගස්මුල්ල ලෙස නම් දරා ඇත.

26.යාකුරාව වසම

මෙම ප්‍රදේශයේ අතීතයේදී යකුන් බහුලව වාසය කර ඇතැයි සැලකේ. කුඹුරු යාය ගම්මුන් අරාව ලෙස හදුන්වා ඇති අතර, යකුන්   සිටි අරාව යක් අරාව ලෙස හදුන්වා ඇති අතර පසු කාලීනව යාකුරාව ලෙස හදුන්වා ඇත.

27.වාසිපන වසම

උඩගංගොඩ ප්‍රදේශයේ පවත්වන ලද අංකෙළි පූජාව තුළදී එයින් අං කැබැල්ලක් විසිරී යාම හේතුවෙන් එය විසිවූ ස්ථානය විසිපොන ලෙස සකස් වූ අතර පසුව එම නාමය වාසිපන බවට පත්වූ බව සඳහන් වේ.

28.ඇත්තලාමුල්ල වසම

වළගම්බා රජු රජ කරන සමයේ රජුගේ ඇතුන් ගාල් කර සිටි ප්‍රදේශය ඇත්ගලාමුල්ල ලෙස හදුන්වා තිබෙන අතර පසුව ක්‍රමයෙන් විකාශනය වි ඇත්තලාමුල්ල ලෙස නම් කර තිබේ.

30.කටුගහගල්ගේ වසම

වළගම්බා රජු යුද්ධයෙන් පරාජය වී වනාන්තරයේ සැඟවී සිටින කාලයේ විහාරස්ථානයක් කරවූ බවත්, එහි ඇති සෙල්ලිපි ජනප්‍රවාදයේ පවති. විහාරස්ථානය තුළ ඉදි වු ගල් ලෙනක් මත විශාල කටු පදුරක් පැවති බවත් එම නිසා කටුගහගල්ගේ යන නම ව්‍යවහාර කළ බවත් සඳහන් වේ.

31.මඩුගහපට්ටිය වසම

බඩල්කුඹුර පැරකුම්බාරාම විහාරස්ථානයේ ගවයන් විශාල ප්‍රමාණයක් සිට ඇති අතර, මඩුගස් බහුලව තිබු ප්‍රදේශයක මෙම ගවයන් ගාල් කර ඇත.එම ස්ථානයේ ගම්මානය බිහිවීමත් සමග මඩුගහපට්ටිය ලෙස නම් දරා ඇත.

 32.මයිලගස්තැන්න වසම

මයිල නැමති ගස් වර්ගය තැනිතලා ප්‍රදේශයක පැතිර තිබී ඇත.එම ප්‍රදේශයේ ගම්මානය ගොඩනැගී ඇති අතර එයට මයිලගස්තැන්න ලෙස හදුන්වා ඇත.

33.මීගහයාය වසම

වෙල්ලස්සේ ගම් පුරාණය නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ මී ගවයන් බැඳි ගස් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබූ බවත් එම නිසාවෙන් මෙම ප්‍රදේශයට මීගහයාය යන නම ලැබුණු බවත්ය.

34.මුතුකෙළියාව වසම

මෙහි මුතු මැණික් යන ස්වාභාවිත සම්පත් තිබූ නිසාත් එදා රජදවස මැණික් ගඟේ තිබූ ගල් පොත්තක් මත හිඳිමින් රජ කුමාරවරුන් හා මැති ඇමතිවරුන් මුතු ක්‍රීඩාවෙහි නියැලුන නිසා අතීතයේ මෙන්ම වර්තමානයේදී ද මුතුකෙළිය පසුව මුතුකෙළියාව වශයෙන් වශයෙන් ව්‍යවහාරයේ එන බව කාලීන සිදුවීම් පිළිබඳ විශ්ලේෂණයේදී හෙළිවිය.

35.අතල වසම

දුටුගැමුණු රජ යුධකරන සමයේ අතක ලේ තැවරි තිබෙනු දැක අත ලේ යැයි පවසා ඇත.පසුව එම ප්‍රදේශයේ අතල ලෙස නම් දරා ඇත.

36.කැලිවැස්ස වසම

සිංහල රජ කාලයේ මෙම ගම්මානය  ආශ්‍රිතව කර්මාන්ත විස්සක් වූ නිසා කෙලි විස්ස නමින් හඳුන්වා ඇත.එය පසු කාලීනව කැලිවැස්ස බවට පත්ව ඇති බව පැරැන්නන්ගේ මතයයි.

37.නාරංවත්ත වසම

නාරං ගස්වලින් බහුලව පැවති හෙයින් මෙම ගම්මානය නාරංවත්ත ලෙස හඳුන්වා ඇත.

38.පුන්සිසිගම වසම

1992 ගම්උදාව තුළින් උදාකළ ගම්මානයක් ලෙස නම් කළ ගමකි.

39.බෝගහපැලැස්ස වසම

බෝගස් යායක් පැවතීම හේතුවෙන් බෝගහපැලැස්ස ලෙස ව්‍යවහාර වී ඇත.

40.මොරටුවගම වසම

මොරටුවගම වසමට මෙම නාමය ලැබී ඇත්තේ මොරටුවගම ගම්ගොඩැල්ලට හා මයිලහින්න ගම්ගොඩැල්ලට ඉහලින් පිහිටි කඳු වැටියේ පිහිටා ඇති මොට්ටුවක හැඩැති එක් කඳු ගැටයක් පවතින බැවින් මොරටුවගම ලෙසින් ව්‍යවහාරයේ පැවති අතර පසු කාලයේදී මෙයට මොරටුවගම යන නාමය ලැබී තිබේ.

41.ලුණුගල ජනපදය වසම

අතීතයේ බුත්තල සිට පස්සර දක්වා තවලම් මාර්ගය වැටි තිබුණේ ජනපද වසම හා මොරටුවගම වසම හරහා වල් මී තලාව ඔස්සේය. තවලම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන කාලයේ පස්සර ප්‍රදේශයේ හා ඉහළ කදුකර ප්‍රදේශය දක්වා යන ගමනේ තවකාලික නැවතුම් පලක් වශයෙන් මෙම හුණුගල්කන්ද පාමුල ගල්ගුහාව භාවිතයට ගෙන ඇත.මෙම මතයට අනුව හුණුගල් පර්වතය මුලීක කොට ගෙන මෙම ගමට ලුණුගල යන නම ලැබි ඇති අතර තවත් මතයකට  අනුව තවලම් මගින් ලුනු ප්‍රවාහනය කළ නිසා මෙම නවාතැනට ලුණුගල යන නම ලැබී ඇත.

පුවත් සහ සිදුවීම්

09
ජූනි2026
ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ...

09
ජූනි2026
වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

 වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 ...

Scroll To Top